Lanka Electronics Lovers

වයිෆයි රවුටරයට UPS එකක් සාදන ආකාරය

මෙම ලිපියෙන් කියැවෙනුයේ WiFi රවුටරයක් හෝ එවැනි උපකරණයක් ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි වන විටත් අඛණ්ඩව පණගැන්වීමට හැකි Uninterruptible Power Supply (UPS) එකක් සාදා ගන්නා ආකාරය.

මෙම නිර්මාණය සඳහා ප්‍රධාන විදුලි සැපයුම ඇති අවස්ථාවේ දී ආරෝපණය කෙරෙන ලිතියම් අයන් බැටරි කැබලි කිහිපයක් භාවිතා කෙරෙනෙවා. වීඩියෝවේ දැක්වෙන නිර්මාණය පිණිස 18650 වර්ගයේ 3200mAh ධාරිතාවයකින් යුත් ලිතියම් අයන් බැටරි කෑලි 6ක් භාවිතා වෙනවා. එසේ වුවත් ලිතියම් අයන් බැටරි කෑලි දෙකකින් වුවත් මේ ආකාරයේ UPS එකක් සාදා ගන්න පුළුවන්. එම බැටරි කෑලි 6ක් භාවිතා කොට සාදා ඇති UPS එකෙන් WiFi 2.4GHz බෑන්ඩ් එක පමණක් සක්‍රීය කර ඇති සහ දුරකතනයක් ද සම්බන්ධ කර ඇති ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් රවුටරයක් ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි වී ඇති විට පැය 11 විනාඩි 30ක් පමණ ක්‍රියාත්මක කරගැනීමට පුළුවන්.

මෙම නිර්මාණය කර ඇත්තේ ඊට භාවිතා කෙරෙන ලිතියම් අයන් බැටරි කෑලි වසර කිහිපයක් වැනි දිගු කලක් නරක් නොවී භාවිතයට ගත හැකි ආකාරයටයි.

අවවාද

  1. මෙම UPS එක නිර්මාණය කර ඇත්තේ 12V මගින් ක්‍රියාත්මක වන රවුටරයක් හෝ එවන් උපකරයක් සඳහායි. ඔබ පණගන්වන උපකරණයේ වෝල්ටීයතාවය මීට වඩා වෙනස් නම් මෙම නිර්මාණයම වෙනස්කම් ඇතිව භාවිතා කරන්න හැකියි. අඩු වෝල්ටීයතාවයකින් ක්‍රියාත්මක වන උපකරණයක් සමඟ මෙම UPS එක අවශ්‍ය වෙනස්කම් නොකර භාවිතා කළොත් එම උපකරණය පිළිස්සී යන්න පුළුවන්.
  2. ඔබ භාවිතා කරන උපකරණයේ බල සැපයුමේ (power supply) ධන සෘණ අග්‍ර ගැන සැලකිලිමත් වන්න. මල්ටිමීටරයකින් එම අග්‍ර පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. UPS එකෙන් ඔබේ උපකරණය පණගැන්වීමට පෙර UPS එකේ ප්‍රතිදාන (output) ජැක් එකේ අග්‍රවලත් ධන සෘණ බව ඒ ආකාරයටම ඇත් දැයි පරික්ෂා කර බලන්න. ධන සෘණ මාරු වූවොත් ඔබේ උපකරණයට හැනි වන්න පුළුවන්.
  3. මෙම UPS එකේ ප්‍රතිදානයේ ඇති XL6009 මොඩියුලයට ප්‍රායෝගිකව උපරිම වශයෙන් 3A පමණ ධාරාවක් ප්‍රතිදානය කරන්න පුළුවන්. ඔබ භාවිතා කරන උපකරණය ඊට වඩා වැඩි ධාරාවකින් ක්‍රියා කරයි නම් XL6009 මොඩියුලය වෙනුවට වෙනත් මොඩියුලයක් භාවිතා කරන්න වෙනවා.
  4. මෙම USP එක සඳහා ලිතියම් අයන් බැටරි කෑලි සොයා ගැනීමේදී එකම වර්ගයේ සහ එකම ධාරිතාවෙන් යුත් බැටරි කෑලි සොයා ගන්න. පරිපථයට බැටරි සම්බන්ධ කිරීමට පෙර බැටරි එකම ප්‍රමාණයකට ආරෝපණය වී තිබිය යුතුයි. මල්ටිමීටරයක් ආධාරයෙන් කෝෂවල වෝල්ටීයතාවය පරික්ෂා කිරීමෙන් මේ බව තහවුරු කරගන්න පුළුවන්. වෙනස් වර්ගවල බැටරි, වෙනස් ධාරිතාවන්ගෙන් යුතු බැටරි, වෙනස් ප්‍රමාණවලට ආරෝපණය වූ බැටරි භාවිතා කළොත් එය බැටරිවල ආයුකාලය අඩු වීමටත් විදුලිය නොමැති විට UPS එක භාවිතා කළ හැකි කාලය අඩුවීමටත් හේතු විය හැකියි.
  5. ලිතියම් අයන් බැටරි භාවිතා කිරීමේදී එම බැටරිවල අග්‍ර ෂෝට් වීමට ඉඩ නොතබා පරිස්සමින් බැටරි භාවිතා කරන්න. එසේ අග්‍ර ෂෝට් වූවොත් බැටරි පුපුරා ගිනි ගැනීම්, පිළිස්සීම් ආදී හානි සිදුවන්න පුළුවන්.
  6. ලිතියම් අයන් බැටරි කෑලි BMS මොඩියුලයට සම්බන්ධ කිරීමේදී අග්‍ර සම්බන්ධ කරන පිළිවෙල ගැන සැලකිලිමත් වන්න. පිළිවෙලින් B-, B1, B2, B+ අග්‍ර සම්බන්ධ කිරීම ආරක්ෂිතයි. BMS මොඩියුය බැටරිවලින් විසන්ධි කරනවා නම් එය සම්බන්ධ කළ පිළිවෙලට ප්‍රතිවිරුද්ධ පිළිවෙලට කරන්න (උදාහරණයකට B+, B2, B1, B- යන පිළිවෙලට විසන්ධි කරන්න). මේ පිළිවෙලට සම්බන්ධ කිරීම හෝ විසන්ධි කිරීම නොකලොත් BMS මොඩියුල විනාශ වී යන බව සමහර නිෂ්පාදකයින් පවසා තිබෙනවා.

පරිපථ සටහන

UPS for WiFi router schematic diagram

අවශ්‍ය උපාංග

  1. XL4015 කරන්ට් කන්ට්‍රෝල් කළ හැකි බක් කන්වර්ටර් (buck converter) මොඩියුල් 1ක්
  2. XL6009 වෝල්ටේජ් බූස්ට් මොඩියුල් 1ක් (වීඩියෝවේ වැඩි විස්තර නරඹා මිල දි ගන්න)
  3. 3S 10A BMS මොඩියුල් එකක් (හෝ 2S බැටරි සම්බන්ධතාවයකදී 2S BMS එකක්)
  4. 18650 වර්ගයේ ලිතියම් අයන් බැටරි කෑලි අවශ්‍ය පමණ (විස්තර බලන්න)
  5. 5A පමණ ස්විච දෙකක් (පැනල් මවුන්ට් වර්ගයේ - SW1 සහ SW2 සඳහා; වීඩියෝවේ නොදැක්වේ)
  6. 10K රෙසිස්ටර් 1ක්
  7. 6.8V සෙනර් ඩයෝඩ් 1ක් (හෝ 2S බැටරි සම්බන්ධතාවයකදී 4V පමණ සෙනර් ඩයෝඩයක්)
  8. 470uF 25V ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් 1ක්
  9. ප්‍රධාන විදුලි සැපයුමෙන් UPS එක පණගැන්වීමට පවර් ඇඩප්ටර් 1ක් (විස්තර බලන්න)
  10. 5.5mm බැරල් ජැක් 1ක් (රවුටරයට විදුලිය සැපයීම පිණිස)
  11. 5.5mm බැරල් ජැක් බේස් 1ක් (පැනල් මවුන්ට් වර්ගයේ - පවර් ඇඩප්ටරයෙන් UPS එකට විදුලිය ලබා දීම සඳහා)
  12. ප්‍රමාණවත් තරම් විශාල ප්ලාස්ටික් පෙට්ටියක්
  13. වයර් අවශ්‍ය පමණ

XL4015 මොඩියුලයෙහි වෝල්ටීයතාවය සුසර කරමින් නිසි අගයට වෝල්ටීයතාවය සැකසීමේදී ඩිජිටල් මල්ටිමීටරයක් භාවිතා කිරීම ඉතාම යෝග්‍යයි. එහි ධාරාව සැකසීමේදී ධාරාව මැනිය හැකි පරාසකට මල්ටිමීටරය යොමු කොට භාවිතා කරන්න උවමනා කෙරෙනවා. සමහර මල්ටිමීටර්වල 3A පමණ ධාරාවක් මැනීමට හැකි 10A හෝ 20A වැනි පරාස නැහැ. එවන් විටෙකදී 0.1 ohms 3 watts වැනි රෙසිස්ටරයක් තිබුනොත් V=IR සමීකරණය ද භාවිතා කොට මල්ටිමීටරයේ වෝල්ටීයතා පරාසයක් භාවිතා කර ධාරාව මනින්න පුළුවන්.

ලිතියම් අයන් බැටරි

මෙම UPS එකේ ලිතියම් අයන් බැටරි භාවිතා කෙරෙනවා. ඒ නිසා ඒවා ආරෝපණය (charge) සහ විසර්ජනය (discharge) කෙරෙන ආකාරය ගැන දැන සිටීම වටිනවා. ඒ සඳහා මෙම වෙබ් අඩවියේ ඇති "ලිතියම් අයන් බැටරි" ලිපිය කියවා බලන්න. එම ලිපිය කියවා බැලුවොත් කවර හේතුවක් නිසා XL4015 මොඩියුලයේ වෝල්ටීයතාවය 11.90V වල පිහිටුවනවා දැයි දැනගන්න පුළුවන්.

බැටරි කෑලි සමාන්තරගතව (parallel) සහ ශ්‍රේණිගතව (series) සම්බන්ධ කොට බැටරි පද්ධතියක් සකසා ගැනීමේදී සමාන්තරගත බැටරි කොටස් කොපමණ සංඛ්‍යාවක් ශ්‍රේණිගතව සම්බන්ධ කෙරෙනවා ද යන්න S අගයෙන් දක්වනවා. උදාහරණයකට බැටරි කෑලි තුනක් ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත්නම් එය 3S සැකැස්මක් යැයි අප කියනවා. තවත් උදාහරණයකට බැටරි කෑලි හයක් ගෙන දෙක බැගින් සමාන්තරගතව සම්බන්ධ කොට එම සමාන්තරගත කොටස් තුනක් ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇතැයි සිතමු. එවිටත් එම සැකැස්ම 3S සැකැස්මකැයි අප කියනවා.

මෙම නිර්මාණය සඳහා අවම වශයෙන් ලිතියම් අයන් බැටරි කෑලි දෙකක් වත් උවමනා කරනවා. එවිට භාවිතා කළ යුත්තේ 2S බැටරි සැකැස්මක්. තවද එවිට 3S BMS මොඩියුල් එකක් වෙනුවට 2S BMS මොඩියුල් එකක් භාවිතා කරන්න වෙනවා. එහිදී XL4015 මොඩියුලයේ ප්‍රතිදාන වෝල්ටීයතාවය 7.90V වල පිහිටුවන්න.

2S බැටරි සැකසුම 12V ලබා ගැනීමට භාවිතා කිරීමට වගේම අවශ්‍ය නම් 9V උපකරණයක් බල ගැන්වීමට වුවත් භාවිතා කරන්න පුළුවන්. එසේ වුවත් ප්‍රතිදානයේ ඇති XL6009 මොඩියුලය වෝල්ටේජ් බූස්ට් මොඩියුල් එකක් නිසා 3S බැටරි සැකසුම 9V උපකරණයක් පණගැන්වීමට සුදුසු නැහැ.

මෙම නිර්මාණය සඳහා 1S බැටරි සැකැස්මක් භාවිතා කරන්න බැහැ. ඒ XL6009 මොඩියුලය නිසි පරිදි ක්‍රියා කිරීමට අඩු තරමින් එහි ආදානයට (input) 3.6V විදුලි සැපයුමක් පැවතිය යුතු නිසා. 1S බැටරි සැකැස්මක බැටරි විසර්ජනය වීමේදී 3V පමණ මට්‍ටමකට බැටරි විසර්ජනය කෙරෙන නිසා එවන් අඩු වෝල්ටීයතාවයක් ඇති විට XL6009 මොඩියුලය නිසි පරිදි ක්‍රියා කරන්නේ නැහැ.

රවුටරය කොපමණ කලක් පණගැන්විය හැකි ද?

රවුටරය කොපමණ විදුලි බලයක් භාවිතා කරනවා දැයි දන්නවා නම් බැටරිවල ධාරිතාවය අනුව බැටරිවලින් රවුටරය කොපමණ කලක් භාවිතා කළ හැකි දැයි ආසන්න වශයෙන් ගණනය කරන්න පුළුවන්. පහත දැක්වෙන්නේ ඊට උදාහරණයක්:

එක් බැටරි කෑල්ලක වෝල්ටීයතාවය: 3.7V
එක් බැටරිය කෑල්ලක ධාරිතාව: 3200mAh
බැටරි කෑලි ගණන: 6
බැටරි කෑලිවල සම්පූර්ණ ධාරිතාවය (වොට් පැය වලින්): 3.7 * (3200/1000) * 6 Wh
බැටරි පූර්ණ ධාරිතාවට ආරෝපණය නොකර 4V පමණ දක්වා ආරෝපණය කරන නිසා සම්පූර්ණ බැටරි පද්ධතියේ ධාරිතාවය: 70%
බැටරි පූර්ණ ධාරිතාවට ආරෝපණය නොකර 4V පමණ දක්වා ආරෝපණය කරන නිසා සම්පූර්ණ බැටරි පද්ධතියේ ධාරිතාවය: 3.7 * (3200/1000) * 6 * 70/100 Wh
රවුටරයේ බල භාවිතය (2.4GHz පමණක් භාවිතා වන විට): 4W
XL6009 මොඩියුලයේ කාර්යක්ෂමතාව (ආසන්න වශයෙන්): 90%
බැටරිවලින් ගැනෙන බලය: 4/(90/100) W
බැටරිවලින් රවුටරය පණගැන්විය හැකි කාලය: (3.7 * (3200/1000) * 6 * 70/100) / (4/(90/100)) h = 11.2 h

11.2h කියන්නේ පැය 11යි විනාඩි 10ක් පමණ.

ඉහත ගණනක කිරීම කරන ලද්දේ බැටරි හොඳ තත්වයේ තියෙන බව සිතා සහ භාවිතා කරන බැටරි 3200mAh ධාරිතාවෙන් යුක්ත බව සිතා. වෙළඳපලේ විවිධ ධාරිතාවයන්ගෙන් යුත් ලිතියම් අයන් බැටරි තිබෙනවා. භාවිතා කරන බැටරිවල ධාරිතාවට අනුව ඉහත ගණනය කිරීම කරන්න ඕනෑ. තවද ඉහත ගණනය කිරීමේදී රවුටරය 4W විදුලි බලයක් භාවිතා කරන බව සලකා තිබෙනවා. විවිධ රවුටර් විවිධ විදුලි බල ප්‍රමාණයනුයි භාවිතා කරන්නේ. සමහර ඒවා 2W පමණ විදුලි බලයකිනුත් ක්‍රියාත්මක වෙනවා.

XL6009 මොඩියුලය නැතිව පුළුවන් ද?

සමහරෙකුට හිතෙන්න පුළුවන් බැටරි ආරෝපණය කෙරෙන්නේ 11.90V වලට නිසා XL6009 මොඩියුලය නැතිව රවුටරය ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද කියා. එය එසේ කිරීම යෝග්‍ය නැහැ. ඊට හේතු වන්නේ එසේ කළහොත් බැටරි බසින විට බැටරි පද්ධතියේ වෝල්ටීයතාවය අඩුවන නිසා රවුටරය ඉක්මනින් නවතින්න පුළුවන් බැවින්. XL6009 මොඩියුලය නිසා බැටරි පද්ධතියේ වෝල්ටීයතාවය BMS මොඩියුලයෙන් බැටරි විසන්ධි කරන තෙක් - එනම් ආසන්න චශයෙන් 9V තෙක් අඩුවන තෙක් - රවුටරය බල ගැන්වෙනවා. XL6009 මොඩියුලය තිබෙන නිසා බැටරි 9V පමණ තෙක් විසර්ජණය වීමට යන කාලය පුරාවටම රවුටරයට 12V ලබා දෙනවා. XL6009 මොඩියුලය නොතිබ්බොත් බැටරි 9V පමණ තෙක් විසර්ජණය වීමට පෙර රවුටරයට අවශ්‍ය වෝල්ටීයතාවය නොලැබී යෑම නිසා රවුටරය නිසි පරිදි ක්‍රියා කිරීම ඉක්මනින් නවතින්න පුළුවන්.

XL6009 මොඩියුලයේ ප්‍රතිදාන වෝල්ටීයතාවය සැකසීම

රවුටරයට 12V ලබාදීම සඳහා XL6009 මොඩියුලයේ සුසරකය භාවිතා කොට එහි ප්‍රතිදාන වෝල්ටීයතාවය 12V වල පිහිටුවීම අවශ්‍යයි. XL6009 මොඩියුලයේ ආදාන වෝල්ටීයතාවය බැටරි ආරෝපණය වී ඇති විට 11.90V ක් වෙනවා. පරිපථය මුලින්ම එකලස් කළ අවස්ථාවක් වැනි අවස්ථාවකදී බැටරිවල වෝල්ටීයතාවය 12.6V පමණ තිබුණොත් මේ සුසර කිරීම කරන්න බැරි වෙනවා ඒ XL6009 මොඩියුලය වෝල්ටේජ් බූස්ට් වර්ගයේ මොඩියුලයක් නිසා. ඒ නිසා බැටරි කැලි මදක් විසර්ජනය වී ඇති අවස්ථාවක XL6009 මොඩියුලය සුසුර කිරීම සුදුසුයි. එවිට නිවැරදිව XL6009 මොඩියුලයේ ප්‍රතිදානය 12V වල පිහිටුවන්න පුළුවන්.

AC-DC පවර් ඇඩප්ටරය

මෙම UPS එක ප්‍රධාන විදුලි සැපයුමෙන් බල ගැන්වෙන්න AC-DC පවර් සප්ලයි එක කෙබඳු එකක් විය යුතු ද? XL4015 මොඩියුලය නිසි පරිදි ක්‍රියා කරන්න එහි ප්‍රතිදාන වෝල්ටීයතාවයට වඩා 0.3V පමණ වැඩි වෝල්ටීයතාවයක් එහි ආදානයට (input) ලබා දෙන්න උවමනා කරනවා. ඒ නිසා ප්‍රතිදාන වෝල්ටීයතාවය 11.90V හි පිහිටවූවොත් එම මොඩියුලයෙහි ආදාන වෝල්ටීයතාවය අඩු තරමින් 12.2V වත් වෙන්න ඕනෑ. ඒ නිසා වෙළඳපොලේ ඇති 12V පවර් සප්ලයි එකක් සාමාන්‍යයෙන් මේ කාර්යයට ගැළපෙන්නේ නැහැ. වෙළඳපොලේ වැඩිය නැතත් 13.5V පවර් සප්ලයි මිල දී ගන්න තියෙනවා. නමුත් ඊට වඩා පහසුවෙන් 18V හෝ 24V පවර් සප්ලයි හොයාගන්න පුළුවන්.

වෙළඳපොලේ ඇති සමහර 12V පවර් සප්ලයි වල ප්‍රතිදාන වෝල්ටීයතාවය යම් පමණක් වෙනස් කරන්න පුළුවන්. ලෝහ කේස් (metal case) එකක් භාවිතා වන පවර් සප්ලයි වල මේ හැකියාව සාමාන්‍යයෙන් දකින්න පුළුවන්. එවන් පවර් සප්ලයි එකක් 12.2V වලට වඩා වැඩි ප්‍රතිදාන වෝල්ටීයතාවයක් සහිතව මෙම UPS එක සමඟ භාවිතා කරන්න පුළුවන්. ඒත් වෝල්ටීයතාවය නිසි පරිසි සැකසිය හැකි දැයි සැකයක් ඇත්නම් මිල දී ගැනීමේදී වැඩි වෝල්ටීයතාවයකින් යුතු පවර් සප්ලයි එකක් (18V, 24V වැනි) මිල දී ගන්න.

මෙම UPS එකේ භාවිතා වන XL4015 මොඩියුයේ උපරිම ධාරාව පාලනය කරන සුසරකය 3A පමණ ප්‍රතිදානයක් ලබා දෙන ලෙසයි පිහිටුවන්නේ. එවිට ප්‍රධාන විදුලි සැපයුම නැතිව ගොස් බැටරි විසර්ජනය වී තිබී නැවත ප්‍රධාන විදුලිය පැමිණි විට 2.5A පමණ ධාරාවකින් බැටරි ආරෝපණය වෙනවා. XL4015 මොඩියුයේ 3A ප්‍රතිදානයට අනුකූලව AC-DC පවර් සප්ලයි එකේ ධාරාව තියෙන්න ඕනෑ. එය එම ධාරාවම වීම අවශ්‍ය නැහැ. වැඩි වෝල්ටීයතාවයක් ප්‍රතිදානය කරන AC-DC පවර් සප්ලයි එකක් භාවිතා කරනවා නම් ඉන් XL4015 මොඩියුය ඇදගන්නේ 3A ට වඩා අඩු ධාරාවක්. පවර් සප්ලයි එක කොපමණ ධාරාවක් ලබා දිය යුතු එකක් දැයි පහත දැක්වෙන උදාහරණයට අනුව ගණනය කර බලන්න:

XL4015 මොඩියුයේ ප්‍රතිදාන වෝල්ටීයතාවය: 11.90V
XL4015 මොඩියුයේ උපරිම ප්‍රතිදාන ධාරාව: 3A
XL4015 මොඩියුයේ කාර්යක්ෂමතාව (ආසන්නව): 90%
XL4015 මොඩියුයේ ආදානය භාවිතා කරන උපරිම බලය: 11.90 * 3 * 100/90 W = 39.7W
AC-DC පවර් සප්ලයි එකේ වෝල්ටීයතාවය (සිතමු): 24V
AC-DC පවර් සප්ලයි එකෙන් උකහාගන්නා ධාරාව: 39.7 / 24 A = 1.65 A

ඉහත ගණනය කිරීමට අනුව 24V AC-DC පවර් සප්ලයි එකක් භාවිතා කරනවා නම් ආරක්ෂාව ගැනත් සිතා 2A හෝ ඊට වඩා වැඩි උපරිම ධාරාවක් ලබා දෙන පවර් සප්ලයි එකක් භාවිතා කරන්න පුළුවන්.

නිර්මාණයේ දැක්වෙන බැටරි කැලි 6 වෙනුවට බැටරි කෑලි 3ක් භාවිතා කරනවා නම් XL4015 මොඩියුලයේ උපරිම ප්‍රතිදාන ධාරාව 1.5A පමණ සේ පිහිටුවා 24V 1A වැනි AC-DC පවර් සප්ලයි එකක් භාවිතා කරන්න පුළුවන්.

2S බැටරි පද්ධති සැකැස්මක් භාවිතා කරනවා නම් 12V පවර් සප්ලයි එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ එවිට XL4015 මොඩියුලයේ ප්‍රතිදාන වෝල්ටීයතාවය 7.90V වල පිහිටුවන නිසා. එවිට අවශ්‍ය නම් 9V පවර් සප්ලයි එකක් වුවත් භාවිතා කරන්න පුළුවන්.

මම මුහුණ දුන් ගැටලු

UPS පරිපථ සටහනේ C1 ලෙස ලකුණු කර ඇති කැපැසිටරය සහ XL6009 මොඩියුලයේ වෙනස්කම් කිරීමට සිදු වූයේ මම මුහුණ දුන් පහත විස්තර කොට ඇති ගැටලුවලට විසදුම් ලෙසයි. සමහරක් විට ඔබේ රවුටරය සමඟ එම ගැටලු ඇති නොවන්න පුළුවන්. ඒ නිසා සමහර විට C1 කැපැසිටරය සහ XL6009 මොඩියුලයේ වෙනස්කම් නොමැතිව ඔබේ UPS එක වැඩ කරන්න හැකියාවක් තිබෙනවා.

  1. ආරම්භයේදී මම මගේ UPS එක සෑදුවේ C1 ලෙස පරිපථ සටහනේ ලකුණු කර ඇති කැපැසිටරය නොමැතිව. මම බැටරි සම්බන්ධ නොකර AC-DC පවර් ඇඩප්ටරය භාවිතා කර පරික්ෂා කිරීම් කළා. UPS එකට විදුලිය සපයා ඊට පසු රවුටරයට UPS එක සම්බන්ධ කරන අවස්ථාවේ XL6009 මොඩියුලයේ සහ XL4015 මොඩියුලයේ ප්‍රතිදාන වෝල්ටීයතාවයන් පහත වැටුනා. මම දුටුවේ රවුටරයට විදුලිය සැපයෙන ආරම්භක ක්ෂණයේ දී UPS පරිපථයේ වෝල්ටීයතාවයන් අසමතුලිත වන බව. මේ දෝෂයට පිළියමක් ලෙස මම C1 කැපැසිටරය යෙදුවා. එවිට එම ගැටලුව නැතිව ගියා.
  2. දෙවෙනියට මම UPS එක බැටරි නොමැතිව රවුටරයට සවි කොට ඉන් පසු UPS එකට විදුලිය ලබා දුන්නා. එවිටත් ඔන්න පෙර ගැටලුවම ඇති වූවා. එහිදී මම තේරුම් ගත්තේ C1 කැපැසිටරය ප්‍රමාණවත් පමණ ආරෝපණය වන තෙක් සිට XL6009 මොඩියුලය සක්‍රීය කරොත් ඒ ගැටලුව විසදා ගත හැකි විය යුතු බව. XL6009 මොඩියුලයේ භාවිතා වන XL6009 IC එකේ 2 වන පින් එකෙන් XL6009 IC එක සක්‍රීය/අක්‍රීය කරන්න පුළුවන්. C1 කැපැසිටරය ප්‍රමාණවත් පමණ ආරෝපණය වන තෙක් සිට XL6009 මොඩියුලය සක්‍රීය කර ගැනීම පිණිස මම XL6009 මොඩියුලය වෙනස් කළා. ඒ XL6009 මොඩියුලයේ එකට සම්බන්ධ වී ඇති 2 සහ 4 පින් විසන්ධි කොට 2 වන පින් එකේ සිට 10k රෙසිස්ටරයක් සෘණ විදුලි සැපයුමටත්, 6.8V සෙනර් ඩයොඩ් එකක් 2 වන පින් එකේ සිට ධන විදුලි සැපයුමටත් සවි කිරීමෙන්. ඉන් මෙම ගැටලුවත් විසඳාගන්න පුළුවන් වුනා.
  3. තෙවනුව මම ප්‍රධාන විදුලි සැපයුම නොමැතිව UPS එක රවුටරයට සම්බන්ධ කොට ඉන් පසුව UPS එකට බැටරි සම්බන්ධ කළා. එවිට සිදුවූයේ BMS එකෙන් අධි ධාරාවක් හඳුනාගෙන බැටරි විසන්ධි කර දැමීම. එසේ වන්නට ඇත්තේ ඇයි? C1 කැපැසිටරය විසර්ජනය වී ඇති විට බැටරි සම්බන්ධ කරන විට අධි ධාරාවක් BMS එක හරහා ඉතාම කුඩා කාලයකට උකහා ගන්නවා විය හැකි යැයි සිතූ මම C1 කැපැසිටරයේ අගය ක්‍රමයෙන් අඩු කරගෙන ආවා. 470uF අගය ඇති කැපැසිටරයක් භාවිතා කළ විට එම ගැටලුවත් නැතිව ගියා. මම පෙර මුහුණ දුන් ගැටලු 470uF කැපැසිටරය සමඟ ඇති වෙනවා දැයි නැවත පරික්ෂා කිරීමත් කර බැලුවා. එම ගැටලුත් ඇති වූයේ නැහැ. මෙම ගැටලුවට තවත් පිළියමක් විය හැක්කේ 10A BMS එකක් වෙනුවට 20A වැනි වැඩි ධාරාවක් හැසිරවිය හැකි BMS එකක් භාවිතා කිරීම.

සාදන ලද UPS එකට සහ රවුටරයට අදාළ සත්‍ය මැනීම්

ප්‍රධාන විදුලි සැපයුම නොමැති විට UPS එකෙන් රවුටරය ක්‍රියා කරන කාලය (නව බැටරි, රවුටරයේ 5GHz WiFi බෑන්ඩ් එක අක්‍රීය කර ඇත) පැය 11 විනාඩි 30
UPS එක නොමැතිව ප්‍රධාන විදුලි සැපයුමට රවුටරය සම්බන්ධ කළ විට රවුටරය උකහා ගන්න බලය (රවුටරයේ 5GHz WiFi බෑන්ඩ් එක අක්‍රීය කර ඇති විට) 4W
UPS එක නොමැතිව ප්‍රධාන විදුලි සැපයුමට රවුටරය සම්බන්ධ කළ විට රවුටරය උකහා ගන්න බලය (රවුටරයේ 5GHz WiFi බෑන්ඩ් එක සක්‍රීය කර ඇති විට) 4.7W
බැටරි ආරෝපණය වී ඇති විට ප්‍රධාන විදුලි සැපයුමෙන් UPS එකට උකහා ගන්න බලය (රවුටරයේ 5GHz WiFi බෑන්ඩ් එක අක්‍රීය කර ඇති විට) 4.8W